Monday, September 30, 2013

මාධ්‍යකාරයා ඇතුළේ ඉන්න පොලිස්කාරයා මට්ටු කරමු

මාධ්‍යවේදීන්ගේ නිදහස රැකගැනීම සඳහා වන ජෝර්දානියානු මධ්‍යස්ථානය විසින් කළ පර්යේෂණයකට අනුව එරට මාධ්‍යවේදීන් අතර ඉතා බරපතළ ස්වයං වාරණයක් පවතියි. මෙතන ඇත්තේ නීතිමය ගැටළුවක් පමණක් නොවේ. යම් යම් අවස්ථාවල තමන්ට ස්වයංවාරණය පනවා ගැනීමට පුරුදු වූ මාධ්‍යවේදීන්ගේ මනෝමය ඇබ්බැහියද වර්තමාන ස්වයං වාරණයට හේතුවක් වන බව විචාරකයින්ගේ අදහසයි.

මං හිතන විදිහට සෑම අරාබි මාධ්‍යවේදියෙකු තුළම පොලිස් නිලධාරියෙකු සිටිනවා. ඒ පොලිස් නිලධාරියා මාධ්‍යවේදියාට කියනවා ලියන්න එපා. ප්‍රකාශ කරන්න එපා, ක්‍රියාත්මක වෙන්න එපා කියලා. පොලිස් නිලධාරියාගේ වගකීම මාධ්‍යවේදියාට නියෝග නිකුත් කිරීමයි, නැත්නම් රතු කාඩ් පතක් ලබාදීමයි. මේ තත්ත්වය වෙනස් කරන්න නම් මාධ්‍යවේදියාට සෑහෙන ප්‍රමාණයද නිදහසක් අවශ්‍යයි. එවිට ඔහුට තමා තුළ සිටින පොලිස් නිලධාරියා මට්ටු කරන්න හැකි වනු ඇත යනුවෙන් බර්හවුමා නැමැති විශේලේශකයා ප්‍රකාශ කරයි.

ඔබට 1989 වකවානුවේ පුවත්පතක් කියවන්නට අවස්ථාව ලැබී ඇත්නම් එකල පුවත්පත්වල විශේෂ ලක්ෂණයක් ඔබ දැක ඇතිවාට සැක නැත. ‛බලධාරියා විසින් කපාහරින ලදී’ යනුවෙන් සඳහන් හිස් තීරු දකින්නට එකල පුවත්පත්වල නිතර දකින්නට ලැබිණි. සමහර අවස්ථාවලදී පුවත්පතේ සම්පූර්ණ පිටුවක්ම බලධාරියා විසින් කපාහරින ලද අතර එවිට පාඨකයාට කියවන්නට ලැබෙන්නේ සුදු ඩිමයි කඩදාසිය මත මුද්‍රණය කළ ‛බලධාරියා විසින් කපාහරින ලදී’ යන වැකිය පමණකි.

සාමාන්‍ය ජනයා වෙත තොරතුරු ලැබීම වැලැක්වීම සඳහා එකල පාලකයන් විසින් දරණ ලද මාරාන්තික උත්සාහය මෙම හිස් පුවත්පත් පිටු මගින් හෙළිදරව් වූ අතර, ඒ සමඟ එම හිස් පිටු කියවන පාඨකයාට ‛කොතැනක හෝ යම් වරදක් සිදුවී ඇත’ යන පණිවුඩය ද ලැබීම වැලැක්විය නොහැකි විය.

ඊට දශක දෙකකට පමණ පසුව ලාංකික බලධාරීන් විසින් වාරණය සඳහා නව ක්‍රමවේදයක් අත්හදා බලනු ලැබිණි. එනම්, බලධාරියෙක් නැතිව මාධ්‍ය වාරණය ක්‍රියාත්මක කරන්නේ කෙසේද? යන්නයි. පසුගිය කාලසීමාව පුරාම විද්‍යුත් සහ මුද්‍රිත ජනමාධ්‍ය මත අදිසි වාරණයක් පැවති බව අපගේ අදහසයි. මාධ්‍යවේදීන් වෙත පැවති තර්ජන හේතුවෙන් මෙන්ම සමහර මාධ්‍යවේදීන් විසින්ම කැමැත්තෙන් හෝ අකමැත්තෙන් පනවා ගත් ස්වයංවාරණ හේතුවෙන්ද මෙම අදිසි වාරණය ක්‍රියාත්මක විය. ඒ අනුව පසුගිය කාලසීමාව පුරාම, විශේෂයෙන්ම යුද්ධයේ අවසාන කාලසීමාව වූ 2009 වකවානුව වන විට අතිශය දරුණු මට්ටමකට පත්ව තිබුණේ විකල්ප මතවාදවලට කිසි සේත්ම ඉඩක් නොලැබෙන පරිදි ය. රජයේ මතයට විරුද්ධ හෝ වෙනස් අදහසක් දැරීම දේශද්‍රෝහීත්වයේ ලේබලය අලවනු ලැබීමට හේතුවක් වූ අතර, සමහර තොරතුරු හෙළිදරව් කිරීම හෝ සාකච්ඡා කිරීම මරණ වරෙන්තුවක් ඉල්ලීමකට සමාන වූ කාලසීමාවක් ද විය. ඝාතන, පහරදීම් සහ අතුරුදන් කිරීම් රාශියකට පසුව බොහෝ ජනමාධ්‍ය විසින් ම ස්වයංවාරණයක් පනවාගන්නා ලද්දේ ස්වයං-ආරක්ෂක පියවරක් වශයෙනි.

පසුගිය කාලසීමාවේ ජනමාධ්‍ය වෙත එල්ලවෙමින් පැවති පීඩනය හේතුවෙන් තර්ජනයට ලක්වූ බොහෝ ජනමාධ්‍යවේදීන් එක්කෝ විදේශගතවීම හෝ නැතහොත් සැඟවී සිටීම වැනි විකල්ප තෝරාගත් අතර, ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාකළ බොහෝ සංවිධාන විසින්ද සිදුකරනු ලැබූවේ අවදානමට ලක්වූ ජනමාධ්‍යවේදීන්ට විදේශගතවීමට සහාය දීම හෝ ඔවුන්ට ආරක්ෂිතව සිටීම සඳහා ස්ථාන සපයාදීමයි. 2009 ජනවාරි මාසයේදී සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමෙන් පසුව ජනමාධ්‍යවේදීන්ට තවදුරටත් ආරක්ෂිතව ජනමාධ්‍යවේදී වෘත්තියේ නිරතවීමට අපහසු වාතාවරණයක් නිර්මාණය වූ බව අප සැම දන්නා කරුණකි. ඉන් අනතුරුව ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියා අතුරුදන් කිරීමත්, පෝද්දල ජයන්ත ඇතුලු විවිධ මාධ්‍යවේදීන්ට පහරදීම් සහ තර්ජනය කිරීම් හේතුවෙන් බොහෝ ජනමාධ්‍යවේදීන් සැඟවී සිටීමට හෝ මෙරටින් පිටව යාමට පෙළඹුණු වාතාවරණයක් බිහි විය.

මෙම තත්ත්වයට එරෙහිව පෙනීසිටි ජනමාධ්‍යවේදීන් සහ අපද ඇතුලු සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ සාමූහික පෙරමුණක් මගින් පසුගිය වකවානුවේ රජයට එල්ල වූ බලපෑම මෙන්ම මාධ්‍ය නිදහස ආරක්ෂා කරන ලෙස ජාත්‍යන්තරය වෙතින් එල්ල වූ පීඩනය මගින් මේ වන විට තත්ත්වය තරමක් වෙනස් වී තිබේ. කෙසේවුවද රතුපස්වල වෙඩිතැබීමේ සිද්ධියේදී එම සිදුවීම වාර්තා කරන්නට ගිය මාධ්‍යවේදීන්ට පහරදීම සහ ඔවුන්ගේ කැමරා ආම්පන්න කුඩුකිරීම මගින් හෙළිදරව් වූයේ නිදහස් මාධ්‍ය භාවිතාවට තවමත් මෙරට තුළ ප්‍රතිරෝධයක් පවතින බවයි. යුද්ධය අවසන් වූ පසුව මාධ්‍ය මර්දනය අවසන් වේ යැයි සිතා සිටි දකුණේ මාධ්‍යවේදීන්ටද ඒ පිළිබඳව නැවත සිතා බලන්නට බල කෙරෙන්නේ මේ වාතාවරණය මගිනි. එමෙන්ම මාධ්‍ය පාලනය සහ යුද්ධය අතර සම්බන්ධයක් ඇතැයි සිතා සිටි අයටද මෙම මාධ්‍ය මර්දනය යුද්ධයට සම්බන්ධයක් නැති බව වටහාගැනීමට දැන් කාලය එළඹ තිබේ.

ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වඩසටහනක් දියත් කරන්නට අප තීරණය කර ඇත්තේ මෙම පසුබිම තුළය. යුද්ධය අවසන් වීමත් සමඟ තවදුරටත් මාධ්‍ය පාලනය සුජාතකිරීමේ වරමද රජයට මේ වන විට අහිමි වී ගොස් පවතියි. දැන් සිදුකළ යුතුව ඇත්තේ මාධ්‍යවේදීන්ට තවදුරටත් සැඟවීමට උදව්කිරීම නොව නිර්භයව ඇත්ත කතාකිරීමට දිරි ගැන්වීමයි. මීට පෙර මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීම සඳහා දායකවූ ආයතන හා ඒ සඳහා සැකසුණු යාන්ත්‍රණවල ඉලක්කය වූයේ මාධ්‍යවේදියාට පියවරක් පසුපසට ගැනීමට උදව් කිරීමයි. නමුත් අපගේ අරමුණ සහ ප්‍රවේශය ඊට හාත්පසින් ම වෙනස් වන අතර, අපගේ අරමුණ වන්නේ මාධ්‍යවේදීන්ට පියවරක් ඉදිරියට තැබීමට සහාය වීමයි. මෙම නව සන්දර්භය තුළ මාධ්‍යවේදියා ආරක්ෂා කිරීම යන්නෙන් අදහස් වන්නේ මාධ්‍යවේදියාට ආරක්ෂාකාරීව ජීවත්වීමට උදව් කිරීමක් නොව මාධ්‍යවේදියාට ආරක්ෂාකාරීව වාර්තාකරණයේ යෙදීමට සහාය වීමයි. එහිදී මාධ්‍යවේදියාගේ ශාරීරික ආරක්ෂාව සලසාගැනීම, මාධ්‍යවේදියාගේ ඩිජිටල් දත්ත ආරක්ෂා කරගැනීම යනාදියට පුහුණුව ලබාදීම සහ මාධ්‍යවේදියාට නීතිමට සහාය අවශ්‍ය වන අවස්ථාවලදී ඒ සඳහා සහාය ලබාදීම අපගේ අරමුණයි.

ප්‍රියලාල් සිරිසේන

රට යන්නෙ නැතිව, යට යන්නෙ නැතිව, පැත්ත ගියත් ඇත්ත ලියන්න

සමබිම මාධ්‍ය රැකවරණය

ඔබ ප්‍රධාන ධාරාවේ මාධ්‍යවේදියෙක්/වේදිනියක්ද? ප්‍රාදේශීය මාධ්‍යවේදියෙක්/මාධ්‍යවේනියක්ද? නිදහස් මාධ්‍යවේදියෙක්/වේදිනියක්ද? වෙබ් මාධ්‍යව්දියෙක්ද? බ්ලොග්කරුවෙක්ද? ඔබට ආයතනික හයියක්, රැකවරණයක් අවශ්‍යය වේ යැයි සිතන්නේද එසේ නම් අදම ‛සමබිම මාධ්‍ය රැකවරණය’ යටතේ ලියාපදිංචි වන්න ලියාපදිංචිය සහ විස්තර සදහා -නීතිඥ ප්‍රියලාල් සිරිසේන - 0777-878579

ඊ මෙල් -rightsnow@gmail.com


මෙතනින් ලියාපදිංචිය වෙන්න

No comments:

Post a Comment